ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්

0
54


සෑම අංශයකින්ම දක්ෂතම ක්‍රීඩකයා අමිල ජයසිරි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් බිහි වෙයි. එමෙන්ම මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 6ක් හා තරග වාර්තාවක් සමවීමක්ද වාර්තා වුණි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කාන්තා පිරිමි දෙඅංශයෙන්ම දක්ෂතම ක්‍රීඩක සම්මානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දුර පැනීමේ ක්‍රීඩක අමිල ජයසිරිට හිමිවූ අතර දක්ෂතම ක්‍රීඩකයා සම්මානයද ඔහුට පිරිනැමුණි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මීටර් 3000 බාධක දිවීමෙන් රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලානි රත්නායකය.

නිමාලි ලියනආරච්චි මීටර 1500 කාන්තා ඉසව්වෙන්, විදුෂා ලක්ෂානි තුම් පිම්ම කාන්තා ඉසව්වෙන් සහ ලක්ෂිකා සුගන්ධි සත්ප්‍රයාම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තා බිහිකළහ.

වසර 2012දී විනාඩි 4:16.42කින් චම්පිකා දිල්රුක්ෂි විසින් පිහිටුවා තිබූ වසර 9ක් පැරණි වාර්තාව නිමාලී අලුත් කරමින් විනාඩි 4:15.84ක දක්ෂතාවක් දැක්වූ අතර ඊයේ මේ ශූරතාවලියේ අවසන් දිනයේදී විදුෂා ලක්ෂානි 2017දී ඇය විසින්ම මීටර් 13.64කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දමමින් මීටර් 13.66ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළාය. ඊයේ දිනයේදීම සත්ප්‍රයාම ඉසව්ව ලකුණු 5128කින් නිම කළ ලක්ෂිකා සුගන්ධි ඇය විසින්ම පසුගිය වසරේ ලකුණු 4911කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවාය.

විදුෂා ලක්ෂානි දුර පැනීම කාන්තා ඉසව්ව මීටර් 6.23කින් නිමකොට රන් පදක්කම මුල් වරට දිනාගත් අතර පළපුරුදු ක්‍රීඩිකා අංජානි පුල්වංශ මීටර් 6.02කින් රිදී පදක්කම හා සාරංගි සිල්වා මීටර් 5.92කින් ලෝකඩ පදක්කමට සීමා වූහ.

අමෙරිකාවේ සිට පැමිණ පළමු වරට ශ්‍රී ලංකාවේ දිගු දුර ධාවන ඉසව්වකට එක්වූ හිරුණි විජේරත්න මීටර් 10000 විනාඩි 35:30.0කින් රන් පදක්කම දිනගත් අතර මීටර් 5000 විනාඩි 16:54.9කින් රන් පදක්කම දිනා ගත්තාය.

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ කාගේත් අවධානයට ලක්වූ සිදුවීම වන්නේ මීටර් 100 කඩුලු පැන දිවීමේ තරගයේදී වසර 23කට පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂිකා සුගන්ධි හොඳම කාලයක් වාර්තා කිරීමය. 1996 ඇට්ලැන්ටාහිදී ශ්‍රීයානි කුලවංශ මීටර් 100 කඩුලු පැන දිවීමේ ඉසව්ව තත්පර 12.91කින් නිම කොට ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකළ අතර අනතුරුව මෙතෙක් වාර්තා වූ හොඳම කාලය ලක්ෂිකා සුගන්ධිගේ තත්පර 13.59ක කාලය වේ. ලක්ෂිකාගේ කාලය වාර්තාවක් නොවුවද කලකට පසු එම ඉසව්වේ ප්‍රගතියක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි. සුගන්දී මීටර් 100 කාන්තා තරගයේ රන් පදක්කම ද තත්පර 12.08කින් දිනා ගත්තාය. මෙතෙක් මීටර් 100 රන් පදක්කම දිනා සිටි රුමේෂිකා රත්නායක තරගය නිමාවීමට මීටර් 25ක් පමණ තිබියදී ආබාධයකට ලක්වූවාය.

ලබන සැප්තැම්බර් මාසයේ කටාරයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් සපුරා ගැනිමේ අවස්ථා කිහිප දෙනකු උදාකර ගනු ඇතැයි අපේක්ෂා කළද මෙවර ජාතික ශූරතාවලියෙන් එවැනි ප්‍රගතියක් වාර්තා නොවුණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

කාන්තා/පිරිමි දෙඅංශයෙන්ම දක්ෂතා දැක්වීම වෙනුවෙන් අමිල ජයසිරි (යුද හමුදාව) දුර පැනීම මී.8.06 (ලකුණු 1151)

දක්ෂතම ක්‍රීඩකයා අමිල ජයසිරි (යුද හමුදාව) දුර පැනීම මී.8.06 (ලකුණු 1151)

දක්ෂතම ක්‍රීඩිකාව – නිලානි රත්නායක (යුද හමුදාව) මී.3000 බාධක කාන්තා වි.9:50.74 (ලකුණු 1117)

මැද දුර සහ දිගු දුර ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – ඉඳුනිල් හේරත් (යුද හමුදාව) මී.800 වි.1:49.01 (ලකුණු 1054)

විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – නදීකා ලක්මාලි (යුද හමුදාව) හෙල්ල විසිකිරීම මී.57.19 (ලකුණු 1026)

පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – විදූෂා ලක්ෂානි (යුද හමුදාව) තුන් පිම්ම මී.13.66 නව ශ්‍රී ලංකා වාර්තාවකි (ලකුණු 1083)

කඩුලු පැන දිවීමේ දක්ෂතම ක්‍රීඩිකාව – කෞෂල්‍යා මධුෂානි (යුද හමුදාව) මී.400 කඩුලු තත්.58.16 (ලකුණු 1076)

දිගු දුර දිවීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – හිරුණි විජේරත්න (ලංකා ලයන්ස්) මී.10000 වි.35:30.0 (ලකුණු 961)

මැද දුර දිවීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – නිලානි රත්නායක (යුද හමුදාව) මී.3000 බාධක වි.9:50.74 (ලකුණු 1117)

කෙටි දුර ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – නදීෂා රාමනායක (යුද හමුදාව) මී.400 තත්.53.11 (ලකුණු 1084)

උස පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – උෂාන් තිවංක (යුද හමුදාව) උස පැනීම මී.2.13 (ලකුණු 1028)

කෙටි දුර ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – අරුණ දර්ශන (යුද හමුදාව) මී.400 තත්.46.68 (ලකුණු 1066)

පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – අමිල ජයසිරි (යුද හමුදාව) දුර පැනීම මී.8.06 (ලකුණු 1151)

විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා සුමේධ රණසිංහ (යුද හමුදාව) හෙල්ල විසිකිරීම මී.80.76 (ලකුණු 1112)

කඩුලු පැන දිවීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – ඒ.අයි.රත්නසේන (ගුවන් හමුදාව) මී.400 කඩුලු පැන දිවීම තත්.51.6 (ලකුණු 1045)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here